Friday, October 16, 2009

සැබෑ මිනිසෙකුගේ කතාව සහ සැබෑ මිනිසුන්ගේ කතාව

සැබෑ මිනිසෙකුගේ කතාව කියන පරිවර්තන කෘතිය ගොඩක් දෙනා කියවලා ඇති කියලා හිතනවා. බොහොම ලස්සන කතාවක්, ඒ වගෙම ඇත්ත කතාවක් (සුදම් හිතන්නෙ මේක ඇත්තටම සැබෑ මිනිස්සු කීප දෙනෙකුගේ කතාවක් කියලා). දෙවෙනි ලෝක යුද්දෙ කාලේ ගුවන් සටනකදි ප්‍රහාරයකට ලක්වෙන රුසියානු ගුවන් නියමුවෙක් වෙන අලෙක්සේයි මරේස්යෙව් ගැන තමයි බොරිස් (බරීස්) පලෙවොයි මේ කතාව ලියලා තියෙන්නේ. ඔය කාලෙදි ලියවුනු හැම රුසියන් පොතකම තියෙන විදියටම සමාජ වාදී අතිශයෝක්තිය ටිකක් තිබුනත් රස විඳින්න පුලුවන්, කතාව ඇතුලේ ජීවත් වෙන්න පුලුවන් පොතක්.

මේ පොතට සුදම් සෑහෙන්න ආසයි, මේ වෙන කොට 30-40 පාරක් කියවලා ඇති. මේක ඇත්ත කතාවක් කියල දැනගත්තු සුදම්ට ඕන උනා මේ මනුස්සයා ඒ කාලේ වෙනකොටත් ජීවතුන් අතර ඉන්නවද කියලා හොයලා බලන්න (ඒ දැනට අවුරුදු 10-12කට ඉස්සර - දැන් වගෙ ඉන්ටනෙට් පාවිච්චියක් නැ නේ). ඒ, අලෙක්සෙයි ව මුණ ගැහෙන්න තරම් පුදුමාකාර ආසාවක් පොත නිසා සුදම්ගේ හිතේ ඇතිවෙලා තිබුන නිසා. දෙතුන් පාරක් හොයන්න උත්සාහ කලාට පස්සේ, ටික කාලෙකට කලින් තමයි හරියටම විස්තර හොයාගන්න ලැබුනේ.

අලෙක්සේයි පෙත්රොවිච් මරේස්යෙව් (පොතේ අලෙක්සෙයි ගේ නම යන්තමින් වෙනස් කලා කියලා කර්තෘ කියනවා නේ)ඉපදිලා තියෙන්නෙ 1916 මැයි මාසේ 20 වෙනිද, පොතේ තියෙන විදියටම කමිෂීන් කියන ප්‍රදේශයේ. ජීවිතේ මුල් කාලේ විස්තර සඳහන් වෙන්නේ පොතේ තියෙන විදියටම තමයි.

විකිපීඩීයා (http://en.wikipedia.org/wiki/Alexey_Maresyev) සඳහන් වෙන විදියට ඔහු අහස් සටන් 86 කදි ජර්මන් ප්‍රහාරක යානා 11ක් විනාශ කරලා තියෙනව. 1943 දි ඔහුට සෝවියට් රුසියාවේ ඉහලම හමුදාමය උපහාරය වෙන “golden star of the hero of the soviet union” ලැබිලා තියෙනවා. 1946 දී ඔහු හමුදා සේවයෙන් විශ්‍රාම යනවා. ඒ අතරේ 1944 දි ඔහු කොමියුනිස්ට් පක්ෂයට බැඳුනු බවත්, 1956 දී ඉතිහාසය පිලිබඳ ආචාර්ය උපාධියක් ලබාගත් බවත් ඒ අතරේ විවිධාකාර පදක්කම් සහ නම්බුනාම වලින් පිදුම් ලැබූ බවත් සඳහන් වෙනවා.

අලෙක්සේයි මියගිය බව සඳහන් වෙන්නෙ 2001 දි. ඒ මැයි 19 වෙනිදා, ඔහුගේ 85 වෙනි උපන් දිනයට පැය කීපෙකට කලින්. විකිපීඩීයා එකේ තියෙන විදියට නම් පැයකට කලින්.

සුදම් දැනගත්තු අලුත් දෙයක් තමයි සැබෑ මිනිසෙකුගේ කතාවේ ෆිල්ම් එකකුත් තියෙන බව. ඒකේ ලින්ක් එකක් විකිපීඩීයා පේජ් එකේම තියෙනව (හැබයි තාම බලන්න නම් උනේ නැහැ ). අනිත් ලින්ක් එක තමයි http://video.google.com/videoplay?docid=-1513737888749327726# . ටොරන්ට් එකක් තිබුනත් ඒක වැඩ කරන්නෙ නැහැ.

කවදාහරි සුදම් මුණගැහෙන්න ආසාවෙන් හිටපු කීප දෙනාගෙන් කෙනෙක් තමයි අලෙක්සේයි මරේස්යෙව්. ඒක දැන් සැබෑ නොවෙන හීනයක්. ඒත් ඒ සම්බන්ධ සැබෑ කරගන්න පුලුවන් හීන දෙකක් සුදම්ට තියෙනවා. එකක් තමයි මොන ප්‍රශ්න ආවත් උත්සාහය අත නොහැර තමන්ගේ ඉලක්කය කරා යන එක, අලෙක්සෙයි වගේ. අනික තමයි ඉලක්කයක් නැතිව අතරමං වෙලා ඉන්න කවුරු හරි දැක්කම එ අයට ඉදිරියට යන පාරක්, ඉලක්කයක් පෙන්නල දෙන එක, ඒකට උදව් කරන එක (සුදම් දැනටත් ඒ වගේ කීප දෙනෙකුට උදව් කරල තියෙනව, එ අය අද ඉන්න තැන දිහා බලලා ගොඩක් සතුටු වෙනවා).

සුදම් මුලින් කිව්වේ ඒ කතාව සැබෑ මිනිස්සු කීප දෙනෙකුගේ කතාවක් කියලා. අලෙක්සෙයි මරේස්යෙව්, ඔහුට කැලෑවෙදි සාත්තු කරන සීයා, අලෙක්සේට නියම ප්‍රතිකාරයක් හොයන කොමිසාර්, රෝහලේ මහාචාර්යවරයා (සහ ඔහුගේ පුතා ), ගුවන් හමුදාවේ වෛද්යවරයා, සමහර නිලධාරීන්-යාලුවෝ සහ අලෙක්සේගේ පෙම්වතිය කියන ඔක්කොම සැබෑම සැබෑ මිනිස්සු/ගැහැනු කියලයි සුදම් හිතන්නේ.


දුකාට මල් මිටක්…..

සුදම්ගේ මුල්ම පෝස්ට් එකේදි සුදම් බ්ලොග්වලට ඇබ්බැහි වෙලා ඉන්න බව කිව්වත්, ඇබ්බැහි වෙන්න මූලික හේතුව කියලා නැති බව සුදම් දැක්කෙ ගිය සතියේ. හේතුව තමයි දුකාගේ බ්ලොග් එක. මුලින්ම දුකාගේ බ්ලොග් එක දැකපු හැටි මතක නැතත්, දුකාගේ එක පොස්ට් එකකට රහවැටුනු සුදම්, එදා රෑ වෙනකල් දුකාගේ ඔක්කොම පොස්ට් ටික එක හුස්මට කියෙව්ව. කාන්තාරෙට සංක්‍රමණය උනාට පස්සේ "ඔටුවෙක්" වෙන්න ඔන්න මෙන්න කියල තිබුන සුදම් ගේ ජීවිතේ ගැන අලුතින් හිතන්න පටන් ගත්තේ දුකාගේ බ්ලොග් එක නිසා (වැඩි විස්තර පස්සේ දවසක කියන්නම්). වට පිටාවට සෙන්සිටිව් වෙන එක දුර්වලකමක් විදියට දකින, හැඟීම් දැනීම් වලට වටිනාකමක් නැති සමාජෙක ජීවත් වෙන, ජීවත් වෙන්න පුරුදු වුන සුදම්ට තමන්ගේ හිත ඇතුලෙ ජීවත් වුන "ඇත්ත සුදම්" තවමත් ජීවත් වෙනව කියල මතක් උනේ දුකාගේ බ්ලොග් එක කියවන කොට. සුදම් ඒක අර්ථ දක්වන්නේ තමන්ට තමන්ව හොයගන්න ලැබුනු එක අවස්ථාවක් විදියට. බ්ලොග් එකක් පටන්ගන්න ඕන කියල හිතුනෙත් එදාමයි. අනිත් වැඩ අස්සේ බ්ලොග් එකකුත් කරගෙන යන එක අන්තිම අමාරු වැඩක් උනත් පොඩි ට්‍රයි එකක් දාලා බලන්න සුදම්ට හිතුනා.
ඔන්න ඔය විදියට පටන්ගත්තු බ්ලොග් එකට ඉදිරියට යන්න කමෙන්ට් කරපු/ කමෙන්ට් කරන , අත හිත දෙන හැමෝටම ස්තුති කරන ගමන්, බ්ලොග් වලට පාර පෙන්නපු දුකාට ස්පෙෂල් ස්තුතියක් පුදන්නයි මේ පෝස්ට් එක…..

Thursday, August 20, 2009

සුදම් ගේ ෆැන්ටසිය

මමත් පටන් ගන්න ඕන බ්ලොග් එකක්…. ටික දවසක ඉඳන් සිංහල බ්ලොග්වලට ඇබ්බැහි වෙලා ඉන්න සුදම් ගේ හිතට නිතරම ආපු දෙයක්. අලුත් දේවල් පටන් අරගෙන දිගටම කරගෙන යාමේ සුදම් ගේ ඉතිහාසය ඒතරම් හොඳ නැති නිසා ඒ අදහස ටිකක් හිතින් අයින් කරලා තියන්න තමයි සුදම් ලෑස්ති වෙලා හිටියේ. ඒත් හරියටම අවුරුද්දකට පස්සේ සික් ලීව් එකක් දාල ගෙදර හිටපු සුදම්ගේ (සුදම් ගෙදර ඉන්නව කියන්නෙයි අන්තර්ජාලේ සැරිසරනවා කියන්නෙයි දෙකක් නෙවේ එකක්, සුදම්ගෙ බිරින්දෑ කියන විදියට) ඔලුවට පරණ අදහස ආයෙත් ආපු නිසා හෙමිහිට ඒ අදහසත් ක්‍රියාත්මක කරලා බලන්න හිතුනා. ලොකු ලොකු ප්ලෑන් ගහල කලින් පටන් ගත්ත වැඩවලට වගේම බ්ලොග් එකටත් ස්වභාවික (අකල්) මරණයක් අත්වෙයිද කියලා සුදම්වත් තාම දන්නේ නැහැ. ඒ උනත්, මේකත් කරල බලමුකෝ…..
සුදම් කියන්නෙ ලංකවේ ටිකක් පිටිසරට වෙන්න ඉපදුනු, නිදහස් අධ්‍යාපන ක්‍රමයටයි (මෙලෝ දෙයක් නොකර විභාග පාස් වෙන්න සුදම්ට තියෙන සහජ හැකියාව (?) ටයි) පින් සිද්ධ වෙන්න උපාධිධාරියෙක් වෙන්න වාසනාව ලබපු කෙනෙක්. කැම්පස් එකෙන් එලියට ඇවිත් රැකියාවක් කරගෙන, පුලුපුලුවන් විදියට අනුන්ට උපකාරයක් කරගෙන ඉන්නව මේ දවස්වල.
සුදම් බබෙක් කාලේ ඉඳන් පිළිවෙලකට කරපු එක දෙයක් තමයි හීන දැකපු එක. පැය ගනන් කොහෙට හරි වෙලා “මනෝ” ගහන එක සුදම් ගේ පුරුද්දක් වෙලා තිබුනා. ඒ වගේම තමයි සුදම් කියන්නේ අතට අහුවෙන හැම එකම කියවන ජාතියේ පොත් (පොත් කිව්වට පොත් විතරක්ම නෙවේ) ගුල්ලෙක්.
ඔයාකාර එක එක දේවල් ඔලුව ඇතුලට යනකොට, එවා ගැන හිත හිතා ඉන්නකොට එක එක විකාර, අදහස්-උදහස්; තර්ක-විතර්ක etc. ඔලුවට එන එකත් සාධාරණයි නේ. ඔය විදියට හිතෙන හිතෙන දේවල් ටිකක් (සුදම්ට හිතෙන හැමදේම ලිව්වොත් නවතින්න වෙන්නෙ හිරේ තමයි.) ලිව්වොත් හොඳයි කියල සුදම්ට සෑහෙන කාලෙක ඉඳන් හිතිලා තිබුනේ. සුදම් ගේ ෆැන්ටසි බ්ලොග් එක අද ඉඳලා ආරම්භ වෙන්නෙ ඒ අදහස හිතේ ඇතිවයි. ෆැන්ටසි කිව්වට සුදම්ගේ ජීවිත අත්දැකීම් එහෙමත් අනාගතේ ලියැවෙයි කියල හිතනවා. එහෙනම්, හැමෝටම ජය හා සැප! ඉඳලා හිටලා මගේ (අපේ) බ්ලොග් එකේදි මුණගැහෙමු……..!